Sunday, September 23, 2012

මෛත්‍රිය

අතිපූජ්‍ය පැළෑණේ සිරි වජිරඤාණ මහානායක මාහිමිපාණන් වහන්සේ

නමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්‍ධස්‍ස

පින්වන්ති,
මේ ශාලාව මෛත්‍රිය ධර්ම ශාලාව බැවින් මෛත්‍රිය ගැන ස්වල්පයක් දේශනා කරන්නට මම කැමත්තමි.
මෛත්‍රියෙහි පිහිටි තැනැත්තන් ගේ ධර්මශාලාව නොහොත් මෛත්‍රියෙහි පිහිටි තැනැත්තන් බණ අසන ශාලාව “මෛත්‍රිය ධර්ම ශාලා” නම් වේ.
ඉදින් මගේ කල්පනාව “මෛත්‍රිය” යනු කුමක් ද? එය වඩන්නේ කෙසේ ද? වෙනත් මෛත්‍රිය ගේ ප්‍රභේද මොනවා ද? යන ප්‍රශ්න තුන තේරුම් කර දීමට ය.
මෙයින් “මෛත්‍රිය” යනු කුමක් ද කීවොත්, සත්වයන් කෙරෙහි වරදවා පිළිපැදීම් වශයෙන් පවත්නා රළු බවට විරුද්ධ වූ යහපතක් පැතීම් වශයෙන් පවත්නා ප්‍රේමය වේ. එ‍සේ නොව තෘෂ්ණාවෙන් ඇලීම් වශයෙන් පවත්නා ස්නේහය නො වේ. එය මෝහය පෙරටු කොට ඇති ලෝභ ස්වභාවයකි. “ගේහසිතපේම” හෙවත් ගිහිගෙට ඇති ප්‍රේමය යනු ඊට නමකි. මේ මෛත්‍රිය නම් ද්වේෂ නැති බව වූ ලෝභ නැති බව හා එක්ව යෙදුණා වු කුශලයකි. එබැවින් “ගේහසිතපේම” යත් මේ මෛත්‍රියත් දෙක ඉතා වෙනස් වු දෙකක් බව තරයේ සිතට ගත යුතු යි. අභිධර්මයේ හැටියට කොටින් කියතොත් “මෛත්‍රි” යනු අදොස (අව්‍යාපාද) චෛතසික ය. මේ මෛත්‍රි වැඩීම දසවැදෑරුම් කුසල් අතුරෙන් “භාවනා” නම් වු කුශලයට අතුළත් වේ. මේ මෛත්‍රි ශබ්දය සංස්කෘත භාෂාවේ වචනයකි. මෙයට පාලියෙන් “මෙත්තා”යී ද සිංහලෙන් මෙත් යී ද කියති. මෙහි දී අපට පාලි ශබ්දය හැදුණු හැටි පමණක් දැනගත්තම ඇති බැවින් එය පමණක් කියන්නෙමි.
පාලියෙන් මිද යන ධාතුවෙන් තා - ආ යන ප්‍රත්‍යය දෙක වීමෙන් පාලි ව්‍යාකරණ ක්‍රමයෙ හැටියට මෙත්තා පදය සිද්ධ වේ. මෙහි මිද යන ධාතුව ප්‍රේම කිරීමේ යන තේරුම පවතී. එතකොට සත්වයන් කෙරෙහි ද්වේෂ නැත්තා වූ ප්‍රේම කරන්නා වූ ස්වභාවය යනු ඒ පදයේ තේරුම වේ. තවත් ක්‍රමයකට මේ පදය සිදුවන බව උගන්වති. එනම් යහළුවා යන අර්ථය ඇති මිත්ත ශබ්දයෙන් පරව ඔහුගේ ස්වභාවය යන ආදී අර්ථයෙහි ණ - ආයන ප්‍රත්‍යය දෙක වීමෙන් මිත්තාණ - ආ යි තුබූ කල්හි ව්‍යාකරණ ක්‍රමවලින් මෙත්තා යි සිදු වේ. එතකොට මිත්‍ර බව යනු එහි තේරුම වේ. මෙතකින් පළමුවන ප්‍රශ්නයට උත්තර කොටින් දත යුතුයි.
ඒ මෛත්‍රිය වඩන්නේ කෙසේද යත්, මෛත්‍රි භාවනා කරනු කැමත්තහු විසින් පළමුකොට කා බී බත් මතය ඉක්මුණාට පසු විවේක ඉඩමක නිසිසේ පැණ වු ආසනයක හිඳගෙන ද්වේෂයෙහි ආදීනව (තරහවීමේ කිපීමේ දොස් වැරදි) සහ ඉවසීමේ ගුණ ද කල්පනා කළයුතු යි. එසේ කල්පනා කිරීමෙන් ක්‍රෝධ කිරීමේ දොස් වැටහී තේරී එයින් වෙන්වීම ද ඉවසීමේ ගුණ වැටහී තේරී එය ඇතිකර ගැනීමට ද කැමති ව මෛත්‍රිය කරන්නට පටන් ගනිමින් පළමුකොට ම කවුරුන් කෙරෙහි මෛත්‍රිය වැඩිය යුතු දැයි දැන ගත යුතු වේ. මේ මෛත්‍රිය වනාහි තමන්ට අප්‍රිය තැනැත්තා ය, ඉතා ප්‍රිය වු යහළුවා ය, මධ්‍යස්ථ වු තැනැත්තා ය, සතුරා ය, යන මේ සතර දෙනා කෙරෙහි පළමු කොට නො වැඩිය යුතුයි. තවද මෙය ලිංගවිස භාගයා කෙරෙහි හෙවත් ගැහැනියක විසින් නම් පිරිමියකු කෙරෙහි ද පිරිමියකු විසින් නම් ගැහැනියක කෙරෙහි දැයි යන මේ ලිංග වශයෙන් අසමාන වූවන් කෙරෙහි අසවල් ස්ත්‍රිය අසවල් පුරුෂයා සුවපත් වේවයි නම් ගම් වශයෙන් වෙන් කොට ද නො වැඩිය යුතු යි. මැරුණා වූ තැනැත්තා කෙරෙහි ද කිසිසේත් නො වැඩිය යුතු යි. කුමක් හෙයින් ද යත්? අප්‍රියයා ප්‍රියතැන්හි තබා ඔහු සුවපත් වේවයි සිතන්නට යෑමෙන් වෙහෙසීම පමණක් මිස මෛත්‍රියෙහි නුපුරුදු වූ සිත මුල දී ම එසේ පිහිටුවීම ඉතා අමාරු ය. ඉතා ප්‍රිය වූ යහළුවා කෙරෙහි මෛත්‍රිය කරන්නට ඔහු කෙරෙහි ඇති තද ස්නේහය නිසා අමාරු ය. ඔහුට යම්කිසි දුකක් පැමිණිවිට මෛත්‍රී කිරීමට නොව කණගාටුවීමට සිදුවේ. මධ්‍යස්ථ තැනැත්තා එක්වරට ම ප්‍රියයකු ලෙස සලකාගෙන ඔහු සුවපත් වේවා යි සිතීම ද අමාරු වේ. සතුරාට මෛත්‍රී කරන්නට ගිය විට දී ක්‍රෝධ උපදී. එක්වරට ම මගේ සතුරා සුවපත් වේවා යි සිතීම ඉතා අමාරු වේ. මේ නිසා මේ සතරදෙනා කෙරෙහි පළමුවෙන් මේ මෛත්‍රිය නො වැඩිය යුතු ය. ලිංගවිස භාගයා කෙරෙහි නම් ගම් නියම ඇතුව මෛත්‍රී කරන්නට යෑමෙන් රාගය උපදී. එබැවින් යම් පුරුෂයෙකු ස්ත්‍රීන් කෙරෙහි මෛත්‍රී වඩතොත් “අසවල් ස්ත්‍රිය සුවපත් වේවයි” නම නියමයක් නැතුව සියලු ස්ත්‍රීහු සුවපත් වෙත්වායි කියාම වැඩිය යුතු ය. ස්ත්‍රීන් විසින් පුරුෂයන් කෙරෙහි ද, මෙසේ ම ය. මළ තැනැත්තා කෙරෙහි ද කිසිසේත් නො වැඩිය යුතු ය යි කීවේ එසේ වැඩීමෙන් උපචාර සමාධියකට, අර්පණා සමාධියකට පැමිනෙන්නට නොහැකි බැවින් නිෂ්ප්‍රයෝජන නිසාය.

මෙත් වැඩිය යුතු සැටි

ඉදින් පළමුකොට ම මෛත්‍රිය වැඩිය යුත්තේ කවුරුන් කෙරෙහි ද යතහොත්, තමා කෙරෙහි ම ය. “මම නිදුක් වෙම්වා! සුවපත් වෙම්වා! යි අවුරුදු සියයක් දහසක් මුළුල්ලේ වුවත් තමන් කෙරෙහි ම මෛත්‍රිය වැඩීමෙන් කිසිසේත් මෛත්‍රිය අපර්ණාවට නොපැමිනෙතත් එසේ වඩන තැනැත්තාට යම් සේ මම සැප විඳිනු කැමැත්තෙම් ද? දුකට ‍නොකැමැත්තෙම් ද? අනෙකුත් සියලු ම සත්වයෝ ද තම තමන් ගැන එසේ ම වෙත්” යයි තමා ම සාක්‍ෂියක් කොට තබාගෙන අනුන් කෙරෙහි ද හිත කැමති බව ඇතිවේ. එබැවින් සාක්‍ෂියක් වශයෙන් තබා ගැනීම පිණිස පළමු කොට තමන් කෙරෙහි ම මෛත්‍රිය පතුරුවා ඊළඟට තමාට ප්‍රිය වූ තම ගුරුවරයෙක් හෝ වෙන උතුමෙක් හෝ ඇත්නම් ඒ ප්‍රියයාගේ දන්දීම්, ප්‍රියවචන කීම් ආදී ප්‍රිය ඉපදීමට හේතු වු කාරණයන් ද, ශීලාදී ගුණාංගයන් ද, මෙනෙහි කොට “මේ මාගේ ප්‍රියයා මා සේ ම නිදුක්‍ වේවා යි” යනාදී වශයෙන් මෛත්‍රී වැඩිය යුතු ය. එසේ වැඩීමෙන් “අපර්ණා සමාධිය” ඇතිවිය හැක. නමුත් එපමණකින් නොනැවතී ඊලඟට ඉතා ප්‍රිය වූ යහළුවා කෙරෙහි ද, ඊලඟට මැදහත් තැනැත්තා කෙරෙහි ද, ඊලඟට සතුරා කෙරෙහි ද මෛත්‍රිය වැඩිය යුතු ය. මෙසේ වඩන්නහු විසිනුත් මෙකී එක එක තැනැත්තාගේ කොටසෙහි සිත මොළාක් කොටගෙන “අර්පණාසමාධියට” සුදුසු වුවාට පසුව ඒ ඒ ළඟ කොටස්වල තැනැත්තන් කෙරෙහි මෛත්‍රිය පැතිරවිය යුතු ය. යම් කෙනෙකුට සතුරන් නැත්නම් හෝ හතුරු කරන්නන් කෙරෙහි “හතුරු ය” යන හැඟීමක් නැත්නම් හෝ එසේ වු හතුරන් නැති තැනැත්තා විසින් මැදහත් තැනැත්තා කෙරෙහි මෛත්‍රි සිත මොළොක් කොට ගෙන “ඉදින් මේ ළඟ ම හතුරා කෙරෙහි මෛත්‍රිය වඩම්හ” යි උත්සාහ නොකට යුතු ය. මැදහත් තැනැත්තා කෙරෙහි මෛත්‍රිය වඩා ඊළඟට සතුරා කෙරෙහි මෛත්‍රිය වඩන්න යයි කීවේ සතුරන් ඇති තැනැත්තා සඳහා ම පමණකි.
ඉදින් මෙසේ සතුරන් ඇති කෙනෙක් නම් පිළිවෙලින් තමාය, ප්‍රියයා ය, ඉතා ප්‍රිය යහළුවා ය, මැදහත් තැනැත්තා ය යන කවුරුත් කෙරෙහිත් මෛත්‍රිය වඩා ඊළඟට හතුරාට මෛත්‍රිය කරන්නට පටන් ගත් විට ඒ හතුරා විසින් තමාට කරපු අපරාධය (වැරදි නපුරු) මතක් වීමෙන් මෛත්‍රිය වෙනුවට ක්‍රෝධය ම උපදී නම් නැවත නැවතත් මෛත්‍රිය වඩා පුරුදු වූ යටකී ප්‍රියයා ආදීන් අතුරින් යම් කෙනෙකුට මෛත්‍රි කොට සිත මොළොක් වූ පසු නැවත නැවතත් සතුරාට මෛත්‍රී කරන්නට උත්සාහ කරමින් ඒ ක්‍රෝධය නැති කර ගත යුතු ය.

ක්‍රෝධය සන්සිඳවීම

ඒත් ක්‍රෝධය නො සංසි‍‍‍‍දේ නම් ඊළඟට බුදුරජාණන් වහන්සේගේ අවවාදයන් සිහි කිරීමෙන් එය නැති කර ගැනීමට උත්සාහ දැරිය යුතු ය. ඒ සිහි කරන්නේ මෙසේ ය. එම්බල ක්‍රෝධකරණ ස්වභාව ඇති තැනැත්ත, බුදුරජාණන් වහන්සේ විසින් ම මහණෙනි, දෙකොනෙහි මිටි ඇති පොළු කියතකින් නපුරුව හොරු අත් පා ආදී අවයවයන් කපත් නම් ඒ අවයවයන් කපන්නා වු සොරුන් කෙරෙහි වත් යමෙක් සිත නරක් කර ගන්නේ වී නම් එබඳු තැනැත්තේ මගේ අනුශාසනාව පිළිපැද්දේ නම් නොවේ යයි දේශනාකරන ලද්දේ නො වේ ද?
තව ද යමෙක් තමා වෙත කිපී සිටින තැනැත්තාට තෙමේත් කිපේ නම් ඒ පසුව කිපුණා වු තැනැත්තාම මුලින් කිපුණු තැනැත්තාට වඩා ඉතා ම අධම වෙයි. තමා කෙරෙහි ක්‍රෝධ කළා වූ තනැත්තාට ක්‍රෝධ නො කොට සිටින්නා වූ තැනැත්තේ නො දිනිය හැකි යුද්ධවලින් ජයගන්නේ ය. අනුන් කිපුණු බව (තරහ වූ බව) දැන යමෙක් සංසි‍‍ඳේ ද, එසේ වූ සිහි ඇත්තා වූ තැනැත්තේ තමාට ද අනුන්ට ද දෙලොවම ශුභ සිද්ධිය කරන්නේ යයි දේශනා කරන ලද්දේ නො වේ ද? ක්‍රෝධ කරන්නා වු ස්ත්‍රිය හෝ පුරුෂයා කරා තමන්ගේ සතුරන් විසින් කැමති වනු ලබන්නා වූ කාරණා සතකි එනම්:
1. දුර්වර්ණ විම 2. දුකසේ කල් යවන්නට වීම 3. ධනවතකු නොවීම 4. ඇඳ පුටු ආදී බඩු හා කන බොන දෑ ආදියත් නැති කෙනෙකු වීම 5. කීර්ති නැති කෙනෙකු වීම 6. මිත්‍රයන් නැති කෙනෙකු වීම 7. මරණින් මතු දෙව්ලොව නොඉපදීම යන මේ සත පැමිනෙන බව දේශනා කරන ලද්දේ නො වේ ද? තවද යම් කෙනෙක් ක්‍රෝධ කරන්නේ සණ්ඩුකරන්නේ නම් ඒ තැනැත්තා නොලැබූ ධ්‍යානාදී ගුණ නොලබන බව ද ලැබූ ගුණයෙන් පිරිහෙන පහළ බහින, අඩුවෙන බව ද අයස අපකීර්තිය දශදිසාවෙහි පැතිරෙන බව ද සිහි මුළාවට පැමිණ මැරෙන්නට සිදුවන බව ද එසේ මළායින් පසු අපායෙහි උපදින බව ද දේශනා කරන ලද්දේ නො වේ ද?
තවද යම්සේ කෙළ, සොටු ආදී අසුචි තැවරුණු තැන් එබඳු වූ අසූචිවලින් සෝදා කිසිසේත් පිරිසිදු කළ නොහැකි වේ ද? එසේ කිරීමෙන් වැඩියෙන් අපිරිසිදු ම වේ ද? දුර්ගන්ධය ම වේ ද? එසේ ම ගැහූ තැනැත්තාට ගැහීමෙක් ද, බැන්නා වූ තැනැත්තාට බැනීමෙන් ද, ක්‍රෝධයෙන් ක්‍රෝධය සංසිඳවීම කිසිසේත් නොහැකි වේ. එසේ කිරීමෙන් ක්‍රෝධය වැඩියත් දියුණු වේ ම ය. ඉදින් අර අසුචි තැවරුණු තැන් පිරිසිදු වතුරෙන් සේදු කළ සිරිසිදු වන්නාක් මෙන් අවෛරයෙන් හෙවත් මෛත්‍රි කිරීමෙන් ක්‍රෝධය සංසි‍දේ. මෙසේ මෛත්‍රියෙන් ක්‍රෝධය සංසිඳුවීම නම් සියලු ම බුදු පසේබුදු මහරහතන් පුරුදු කළා වු මඟ යයි දේශනා කරන ලද්දේ නො වේ ද?
තවද “යම්සේ ලි දෙකක් එකට ගෑමෙන් ගිනි උපදී ද? ඒ ගින්නෙන් ඒ ලී ම දා විනාශ වේ. එසේම මෝඩ වූ බණ දහම් නොදන්නා වු තැනැත්තාට එකට එක කිරීමෙන් ක්‍රෝධය උපදී. එසේ උපන්නා වු ක්‍රෝධයෙන් ඔහු ම ද, විනාශයට පැමිණෙයි” යනුවෙන් දේශනා කරන ලද්දේ නො වේ ද?
තවද “ගිනිහුලක් මෙන් යමකු කෙරෙහි ක්‍රෝධය දියුනු වේ නම් ඔහුගේ යසස කළුවර පක්‍ෂයෙහි සඳ මෙන් ක්‍රමයෙන් පිරිහේ” යයි දේශනා කරන ලද්දේ නො වේ ද?
තවද යම්සේ අසුචි වළක් කැට කැබිලිති ආදියකින් ඇවිස්සූ කල්හි වඩාමත් දුර්ගන්ධය හමන්නේ වේ ද, එසේ ම යම්කිසි ක්‍රෝධ කරන්නා වු කෙනෙක් යම්කිසි අමනාප වන සුලු දෙයක් කළ විට කිපේ නම් තරහ ඇවිස්සේ නම් එබඳු වූ තරහ ඇවිස්සෙන තැනැත්තා ආශ්‍රය කරන්නට ‍නුසුදුසු යයි, අසූචි වලක් සමාන යයි දේශනා කරන ලද්දේ නො වේ ද?
තවද “මහණෙනි, දෙකොන ගින්නෙන් ඇවිළුණා වූ මැද අසූචි තැවරුණා වු සොහොන්, පෙනෙල්ලට යම් කෙනෙක් සමාන යයි මම කියමි” යයි දේශනා කරන ලද්දේ නො වේ ද? ඉදින් එම්බල ක්‍රෝධය කරන තැනැත්ත, දැන් නුඹ මෙසේ සතුරා කෙරෙහි කිපෙන්නෙහි වී නම් ඒ භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනා ලෙස පිළිපදින්නෙක් නොවෙහි යයි මෙසේ බුද්ධාවවාදයන් මෙනෙහි කරමින් තමා ම තමාට අවවාද කිරීමෙන් ඒ ක්‍රෝධය සංසිඳවාගත යුතු ය.

සතුරාගේ හොඳ මෙනෙහි කිරීම

ඉදින් ඒත් නොසංසිඳේ නම් ඒ තම සතුරාගේ කය පිළිබඳව වූ හෝ සිත පිළිබඳ වූ හෝ වචනය පිළිබඳ වූ හෝ සමාචාරයන් සිහි කොට ක්‍රෝධය නැති කර ගත යුතු ය. සමහරුන්ගේ කාය සමාචාරය පමණක් යහපත් වේ. සිහිපත් කරන කල හිතට සතුටු උපදී. වචන පිළිබඳ වූ හෝ සිත පිළිබඳ වූ හෝ සමාචාරයෝ එසේ නොවෙති. එබඳු සතුරකුගේ වී නම් ඒ නරක වූ සිත හා වචනය පිළිබඳ සමාචාරයන් සිහි නොකොට කය පිළිබඳ සමාචාරයන් පමණක් සිහිකට යුතු ය. මෙසේ ඒ සතුරාගේ යම් යම් සමාචාරයක් යහපත් නම් ඒ ඒ යහපත් සමාචාරයම සිහි කළ යුතු ය. අයහපත් සමාචාර සිහි නොකට යුතු ය.
එයින් කය පිළිබඳ හොඳ හැසිරීම් සිහි කරන්නේ මෙසේ ය:
එම්බල ක්‍රෝධය කරන තැනැත්ත, නුඹ ඔහුගේ යම් කිසි රළු වචනයක් නිසා හෝ වෙන යමක් නිසා ඔහුට කිපු‍ණෙහි වී නමුත් ඔහුගේ කාය කර්ම කොපමන හොඳ ද? ඔහු සතුන් නොමරන කෙනෙකු නොවේ ද? නරක හැසිරීම් නැති කෙනෙක් නොවේ ද? මත්පැන් නොබොන කෙනෙක් නොවේ ද? වෙනත් නොයෙක් හොඳ ගතිගුණ ඇති කෙනෙක් නොවේ ද? මේ තරම් හොඳ ගති ඇති ඔහුගේ ඒ එකම ගුණයක් වත් ගැන නොසිතා ක්‍රෝධ කරන්නේ ඇයි? නරක ගැන සිතා බලනවා වගේම ඔහුගේ හොඳ ගැනත් සිතා බලාපන්න කියා ය.
සිත පිළිබඳ හොඳ හැසිරීම් දැන ගන්නේත් ක්‍රියාවෙන් ම ය. හිත හොඳ කෙනෙක් නම් බුදුන් වැඳීම් ආදී පින් කරන විට ඉතා ශ්‍රද්ධා වෙනුත් ඕනෑකමිනුත් කරනවා ඇත. ඒ මේ අන්දම් වලින් ඔහුගේ හිත හොඳ බව සලකා නරක ගති ගැන ඇති වූ තරහ තුනී කර ගන්න.
වචනය පිළිබඳ හොඳ හැසිරීම් සිහි කරන්නේ එම්බල ක්‍රෝධ කරන තැනැත්ත, ඔහුගේ යම් යම් නරක ගති ඇතත් ඔහුගේ කථාව කොපමණ හොඳ ද? ඔහු හොඳ මෘදු වචන කථා කරන්නෙක් නො වේ ද? ඔහුගේ කථාව කාටත් ප්‍රිය නො වේ ද? අනෙක ඔහුගේ නරක ක්‍රියා ගැන සිත සිතා නුඹ ඔහුට කිපෙනවා සමග ම ඔහුගේ මේ යහපත් කථාවේ ගුණ නොසිතන්නේ ඇයි කියා ය.
යම් සතුරකුගේ මේ සමාචාර තුන ම යහපත් නම් හෙවත් කායා දී තුන්දොරෙහි ම යහපත් හැසිරීම් ඇත්තේ නම් එයින් තමන් කැමති යමක් ගැන කල්පනා කිරීමෙන් ක්‍රෝධය සංසිඳවා ගත යුතු ය. ඉදින් හතුරකුගේ මේ සමාචාර තුන ම නරක නම් හෙවත් තුන්දොරින් ම නරකක් ම කරන්නෙක් නම් ඔහු ගැන මෙසේ සිතිය යුතු යි. “මේ තැනැත්තා මිනිස්ලොව හැසිරෙන්නේ වී නමුත් තව ටික කලකින් නිරයෙහි වැටෙන්නේ ය. එසේ නිරයේ වැටෙන්නට සිටිනා මේ තැනැත්තාට කරුණා කරන්නට වටී යයි සිතා මෙසේ ඔහු කෙරෙහි කරුණාව ඉපදවිය යුතු යි. එසේ කරුණාව උපන් කල්හි ක්‍රෝධය සංසිදේ මැ යි. (මෙතැනදී මෛත්‍රිය වැඩීමට කරුණාව හේතුවන බව කී බැවින් කරුණා, මෛත්‍රී වචන දෙකේ තේරුම කියා දිය යුතු ය.) නො දන්නා අය මේ දෙක එකක් ලෙස සලකතත් එකට එක ඉතා වෙනස් වු දෙකක් බව කියමි. කරුණාව නම් දුකට පැමිණ සිටින්නාවූ කෙනෙක් ඒ දුකින් මුදවීම පිණිස හිතේ ඇතිවන්නාවූ අනුකම්පාව යි. මෛත්‍රිය නම් දුකට පැමිණියා වූ හෝ නිදුක් වූ හෝ සියළු ම සත්වයන් කෙරෙහි නපුරක් නොසිතන්නා වූ යහපතක් ම වේවා යයි පතන්නා වූ රාගයට විරුද්ධ වූ ප්‍රේමය වේ. (මෙසේ කරුණා මෛත්‍රී දෙක දෙකක් බවත් ඉන් කරුණාව උපදවා ගැනීම මෛත්‍රිය ඉපදීමට හේතුවන බව සිතට ගත යුතු ය.)

තමාට ම අවවාද කරගැනීම

ඉදින් මෙසේත් නොසංසි‍ඳේ නම් නැවත තමන් විසින් ම තමාටම අවවාද කර ගත යුතු යි. ඒ මෙසේ ය: එම්බල ක්‍රෝධය කරන තැනැත්ත, තාගේ සතුරා විසින් ඔහුට විෂය වූ (හෙවත් ඔහුට දුක් දෙන්නට පුළුවන් හරිය වූ) තාගේ ශරීරයෙහි යම් කිසි දුකක් උපදවන්නට ඔහුට පුළුවන. එසේත් ඔහුට, දුක් උපදවන්නට නුපුළුවන් හරිය වූ තාගේ සිතෙහි තා විසින් ඒ සතුරා කෙරෙහි ක්‍රෝධයක් උපදවා ගත්තොත් එය තට මහත් දුකක් උපදවා ගත්තා වේ. ඉදින් එසේ තාගේ සතුරාට අවිෂය වූ (දුක් උපදවන්නට නුපුළුවන් හරිය වූ) තාගේ සිතෙහි කුමක් හෙයින් තෝ ම දුක් උපදවා ගන්නෙහි ද?
මේ ක්‍රෝධය නම් තාගේ ශීලාදී ගුණයන්ගේ මුල් වැනි වු ලැජ්ජා භය දෙක සිඳ බිඳ දමන්නා වු එකකි. නුඹ එබඳු වු ක්‍රෝධය නළවන්නෙහි ය. එබැවින් නුඹ හා සමාන වු මෝඩයෙක් ලෝකයෙහි කොයින් ද? සතුරා විසින් නොකොට යුතු වූ අයුත්තක් නුඔට කරන ලද්දේ යයි ඔහුට නුඹ කිපෙන්නේ මන් ද? එසේ කිපී නුඹත් ඔහුට එබඳු අයුත්තක් කරන්නට සිතන්නේ ඇයි?
සතුරා නුඹ තරහ කරවීමට නුඹ අමනාප වූ යමක් කලේ නම් නුඹ ඒ ගැන තරහ වුණොත් සතුරාගේ ම කැමැත්ත ඉෂ්ට වේ. ඉදින් එසේ සතුරාගේ අදහස සම්පූර්ණ කරන්නට සිතන්නේ ඇයි? 
නුඹ දැන් තරහෙන් කිපී සිටින්නෙකි. එසේ වු නුඹට නුඹේ සතුරා කෙරෙහි යම් දුකක් උපදවන්නට හැකි වෙතත් නොවෙතත් නුඹටම නුඹ දුක් උපදවා ගන්නෙහි ය. ඒ නුඹටම උපදවා ගන්නා දුක නම් නුඹේ ම ක්‍රෝධයෙන් නුඹේ ම සිත සහ කයත් දවා ගැනීම ය.
නුඹ ක්‍රෝධ කරන්නෙහි නම් නුඹේ සිත නරක් වන්නේ ය. එසේ සිත නරක් වූ විට ඒ සිතට ආධාරය වු සිත රඳා සිටින ඉඩම (හෘදය වස්තුව) ද නරක් වීමට රත් වීමට පැමිණෙන්නේ ය. එසේ වීමෙන් ඒ හෘදය වස්තුව ආශ්‍රය කරමින් පවත්නා වූ අනෙකුත් ශරීරයේ කොටස් ද ක්‍රමයෙන් නරක් වීමට රත් වීමට පැමිණෙති. මෙසේ ක්‍රෝධය නිසා මුළු ශරීරය ම නරක් ව රත් ගතියකට පැමිණේ. එසේ වීමෙන් ලේ නරක් වී ඇඟ කළු වන්නේ ය.
මේ කීමේ හරි වැරදි බලන්නට ඕනෑ නම් තරහ වූ කෙනෙකුගේ මූණ දෙස බලන්න. එවිට ඔහුගේ මූණ වෙනදා මෙන් නොව අප්‍රිය වූ අමනාප වූ රළු වූ රකුසු මූණක් මෙන් නුඹට හැඟෙනවා ඇත. ඉදින් නුඹ නිතර නිතර ක්‍රෝධ කරතොත් නුඹේ ශරීරය මෙසේ නිතර නිතර නරක්වීමෙන් රත්වීමෙන් ඉක්මනට දිරන්නේ ය. “තරහ වුණොත් විගහට නාකි වෙයි” යන කථාව නුඹ නොයෙක් විට සරදමක් වශයෙන් හිතුවත් දැන් එය ශාස්ත්‍රානුකූල වූ යහපත් ඇත්ත කීමක් බව තේරෙනවා නො වේ ද?
තව ද තරහ වීමෙන් නුඹේ සිත නරක් වූ විට ඒ සිතේ තිබෙන නුවණ ද නරක් වී අණුවන වන්නේ ය. එසේ මුළා වූ නුඹට නොකළ හැකි අපරාධයක් ඇත් ද? නැත් ම ය. තරහ වූ තැනැත්තන් ඒ ක්‍රෝධයෙන් මුළාව මවුපියන් මැරීම් ආදී මහ වැරදි කරපු බව නුඹ දන්නෙහි නො වේ ද?
මෙසේ තරහ ඇති වූ කල කිසිම හොඳ නොහොඳක් තෝරා බේරා ගන්නට තරම් නුවණත් ඉතිරි නොවන බව තරයේ ම හිතට ගන්න.
නුඹේ සතුරන් කිපීමෙන් නොමගට පැමිණි විට නුඹත් කිපෙහි නම් නුඹ ඔවුන්ගේ උපදෙස් (ගුරුකම්) ගන්නෙක් වෙහි ය. එසේ නුඹේ සතුරන්ට අනුව හික්මෙන්නේ ඇයි?
නුඹේ සතුරා නුඹට යම් අපරාධයක් කළේ නම් ඒ කළේත් ක්‍රෝධය නිසා ම ය. එබැවින් නුඹට සතුරු වූයේ ක්‍රෝධය ම ය. නුඹේ සතුරා වනාහි ඒ ක්‍රෝධයට යටත්ව ක්‍රියා කරන හෙයින් ක්‍රෝධයාගේ දාසයකු වැනි ය. එබැවින් නුඹේ එකට එක කිරීම ලැබීමට සුදුසු වන්නේ ඒ ක්‍රෝධය මිස සතුරා නො වේ. ඒ නිසා ක්‍රෝධය ම නැති කර දමන්නේ ය. ඉදින් නුඹට නුඹේ සතුරා පොල්ලකින් ගැසුවේ යයි තරහ වෙතොත් වැදුනේ පොල්ලෙන් නිසා පොල්ල එක්ක ම තරහ විය යුතුයි. එසේ නොව පොල්ල එවූ තැනැත්තා සමග නුඹ තරහ වෙතොත් ඒ තැනැත්තා සමග තරහ වන්නට මත්තෙන් ඒ සතුරා ඒ වැඩෙහි යෙදෙව්වේ කවුදැයි සෙවිය යුතු ය. එසේ සොයන විට ඒ යෙදවූ තැනැත්තා නම් ක්‍රෝධය ම බව නුඹට වැටහෙනවා ඇත. ඒ නිසා ක්‍රෝධය සමග ම ක්‍රෝධ කරන්නේ ය. සත්ත්වයකු සමග ක්‍රෝධ කිරීම මෝඩකමකි. නමුත් ලෝක සත්ත්වයන් නුඹේ සතුරන් ලෙස නුඹ‍ට හඟවන්නේ නුඹේ ම සිතේ ඇත්තා වූ ක්‍රෝධය වේ. එබැවින් එය නසාගත්තොත් සතුරෝත් නැසෙති. එබැවින් ලෝකයෙහි සිටින සියලු සතුරන් මරනු කැමති නම් නුඹේ ම ක්‍රෝධය මරාගන්න. පොරවකින් හඳුන් ගහක් කපන විට ඒ පොරව හඳුන් ගහේ හතුරා වෙතත් ඒ හඳුන් ගහ පොරවේ මුව අත සුවඳ කරවන්නා සේ සත් පුරුෂයෝ තමන්ට විපතක් කරද්දීත් ඒ තමන්ගේ හතුරන් කෙරෙහි යහපතක් ම කෙරෙති. එබැවින් නුඹ සත් පුරුෂයෙකැයි ප්‍රසිද්ධ වෙන්නට කැමති නම් සතුරන්ට ක්‍රෝධ නොකරන්න.
තවද සියලු සංස්කාරයන් (හේතුවකින් ඇතිව නැති වන දේවල්) මොහොතින් මොහොත නැති වී යන ස්වභාවය ඇති බැවින් නුඹේ ඒ සතුරා නුඹට යම් අපරාධයක් කළේ නම් ඒ නුඹට අපරාධ කළා වූ පඤ්චස්කන්ධයෝ දැන් ඔහු තුළ නැත්තාහ. දැන් ඔහු තුළ පවතින්නේ අමුතු ස්කන්ධ පරම්පරාවක් බැවින් නුඹ දැන් ඔහුට යම් විපතක් කළෙහි නම් නිරපරාධ වූ ස්කන්ධයන්ට අපරාධ කළ තැනැත්තෙක් වෙහි ය. මෙසේ නොයෙක් කරුණු වලින් තමා ම තමහට අවවාද කොට ඒ ක්‍රෝධය සංසිඳවා ගත යුතු ය.

කර්මය ඇසුරින් සිතීම

ඉදින් මෙසේත් නොසංසිදේ නම් ඊළඟට තමාගේ සහ තම සතුරාගේත් කර්මය අයිති කොට පවත්නා බව කල්පනාකට යුතු ය. එයින් තමා කර්මය අයිති කොට පවත්නා බව සිතා බලන්නේ මෙසේ ය:
එම්බල ක්‍රෝධය කරන තැනැත්ත, නුඹ ඔහුට කිපී කුමක් කරන්නෙහි ද? නුඹ ඔහුට ක්‍රෝධ කරන්නෙහි නම් ඒ අකුශල කර්මය නුඹට අවැඩ පිණිස පවත්නේ ය. නුඹ කළා වූ අකුශල කර්මයෙහි විපාකය පරලොව දී නුඹට ම විඳින්නට වන්නේ ය. නුඹේ මේ අනුන්ට ක්‍රෝධ කිරීම වූ අකුශල කර්මය බුදු බවක් ලැබීම පිණිස වත් පසේ බුදු බවක් ලැබීම පිණිස වත් රහත් බවක් ලැබීම පිණිස වත් හේතුවන්නේ නැත. එපමණකුත් නොව ශක්‍ර සම්පත් මාර සම්පත් බ්‍රහ්ම සම්පත් රාජ සම්පත් ලැබීමක් ආදිය පිණිස ද හේතුවන්නේ නැත. මෙලොව වශයෙන් ම නොයෙක් දුක් ලැබීමට ද පරලොව වශයෙන් නරකාදී සතර අපා‍යෙහි දුක් ලැබීමට ද හේතුවන්නේ ය. මේ ක්‍රෝධ කිරීම නම් වූ අකුශල කර්මය කරන්නා වූ නුඹ දෝතින් ගිනි ගෙන දිලිහෙන අඟුරු රැසක් ගෙන හෝ අසූචි හෝ ගෙන අනුන්ට ගහන්නට හිතෙන කෙනෙකුට සමාන ය. මක් නිසා ද කීවොත් එසේ ගහන තැනැත්තා පළමු කොට තමා ගේ අත්දෙක පුළුස්සාගෙන හෝ ගඳ ගසා ගෙන අනුන්ටත් එබන්දක් පමුණුවන්නා සේ නුඹත් පළමුකොට නුඹේ ම ක්‍රෝධයෙන් දා විනාශ වී අපකීර්ති නැමැති ගඳ ගස්සාගෙන අනුන්ට ද එබන්දක් කරන නිසා ය. මේ ළඟට තමන් ගේ සතුරා කර්මය අයිති කොට පවත්නා බව කල්පනා කරන්නේ කෙසේ ද යත්, එම්බල ක්‍රෝධය කරන තැනැත්ත, නුඹේ සතුරා නුඹට කිපී කුමක් කරන්නේ ද? ඔහු නුඹට ක්‍රෝධ කරන්නේ නම් ඒ අකුශල කර්මයාගේ විපාකය පරලොව දී ඔහුට ම විඳින්නට වන්නේ නො වේ ද? ඔහුගේ මේ අනුන්ට ක්‍රෝධ කිරීම වූ අකුශල කර්මය බුදුබව ආදී ලොවුතුරා සැපතක් වත් ශක්‍ර සම්පත් ආදී ලෞකික සැපතක් වත් ලැබීමට හේතු වන්නේ නැත. මෙලොවත් පරලොවත් දෙකෙහි ම නොයෙක් දුක් ලැබීමට හේතු වන්නේ ය. ඒ සතුරු තැනැත්තා යටි සුළ‍ඟෙහි සිට උඩු සුළ‍ඟෙහි සිටින්නා වූ අනුන්ට දූවිලිවලින් ගහනු කැමති කෙනෙකු හා සමාන ය. මක් නිසා ද කිවහොත්, එසේ ගැහූ දූවිලි තමාගේ ම ඇ‍ඟේ අවිත් වැටෙන්නා සේ ඔහු අනුන්ට කරන ක්‍රෝධ නමැති දූවිලිවලින් තමා ම කෙලෙසෙන නිසා ය. ඒ පාපය ක්‍රෝධ කරන අඥානයා කරා ම ආපසු පැමිණෙන්නේ ය කියා යි.

බෝසත් සිරිත් මෙනෙහි කිරීම

ඉදින් මෙසේත් නොසංසිදේ නම් ඊළඟට අප බෝසතාණන් වහන්සේගේ පූර්ව චරිතයන් හෙවත් බුදුවූ ජාතියට පෙර ජාතිවල ජීවිත කථාවන් සිහි කිරීමෙන් වත් ක්‍රෝධය සංසිඳවාගත යුතු ය. ඒ මෙසේ ය:
එම්බල ක්‍රෝධය කරන තැනැත්ත, නුඹේ ශාස්තෘ වූ බුදුරජාණන් වහන්සේ බුදුවෙන්නට පෙර බෝධිසත්ත්ව කාලයේ දී ම බොහෝ කාලයක් මුළුල්ලෙහි පාරමිතා පුරමින් ඒ ඒ ජාතිවලදී තමන් වහන්සේට අවැඩ අපරාධ කළා වූ සත්වයන් කෙරෙහි ක්‍රෝධ නූපදවා මෛත්‍රිය ම කළ සේක් නො වේ ද? උන් වහන්සේ, සීලව රජව උපන් කාලයෙහි තමන් වහන්සේගේ රාජ්‍යයත් පැහැරගෙන අමුසොහොනෙහි කරවටක් පමණ බිම වළ හාරා වළ දැමූවත් හතුරු රජ කෙරෙහි පවා හිත කළඹවා ගැනීම් පමණක්වත් කර නොගත් සේක් නො වේ ද? පසුව ඒ හතුරු රජු පවා මිත්‍රයකු සේ හිතූ සේක් නො වේ ද? ශාන්තිවාදී, තාපසව උපන් කාලයෙහි අඥාන වූ කලාබු නම් කසී රට රජු කටු කසයෙන් තළවද්දීත් අත පය කප්පවද්දීත් ඉවසමින් ඔහුට මෛත්‍රිය ම කළ සේක් නො වේ ද? චුල්ලධම්මපාල ජාතකයෙහි කිරි බොන ළදරුව සිටත් තමන් වහන්සේගේ අත පය කැප්ප වූ පිය මහ රජ්ජුරුවන් කෙරෙහිත් ඒ කැපු වධකයා කෙරෙහිත් අඬමින් සිටි මව් බිසව කෙරෙහිත් තමන් වහන්සේ කෙරෙහිත් එක සේ ම මෛත්‍රිය කළ සේක් නො වේ ද? වෙනත් ‘ඡද්දන්ත ජාතක’ ‘මහා කපි ජාතක’ ‘භූරිදත්ත ජාතකා’ දී තිරිසන්ව උපන් ජාතිවල දැයි නොයෙක් දහස් ගණන් ජාති වල දී තමන් වහන්සේට අවැඩ කළා වූ දුක් දුන්නා වූ නොයෙක් සත්වයන්ට මෛත්‍රිය ම කළ සේක් නො වේ ද? දැන් මේ බුදු වුණා වූ ජාතියෙහි ද ඉවසන්නා වූ මෛත්‍රිය කරන්නා වූ තැනැත්තන් අතුරෙන් උන් වහන්සේ අග තැන්පත් කෙනෙක් නො වේ ද්ද? ඉදින් මෙබඳු වූ මෛත්‍රියෙන් අග තැන්පත් වූ උතුමෙක් ‘මගේ ශාස්තෲන් වහන්සේ’ යි අදහන්නා වූ නුඹට අනුන් කෙරෙහි ක්‍රෝධ සිතක් ඉපදීම නම් කිසිසේත් යුතු නො වේ යයි සිතා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් ක්‍රෝධය සංසිඳවා ගත යුතු ය.

සසර ගැන සිතීම

ඉදින් මෙසේත් නොසංසිදේ නම් ඊළඟට අග මුල් නොපෙනෙන්නා වූ මේ සසර ස්වභාවය ගැන කල්පනා කට යුතු ය. එ මෙසේ ය: එම්බල ක්‍රෝධය කරන තැනැත්ත, අප බුදුරජාණන් වහන්සේ විසින් සසර ස්වභාවය දේශනා කරන තන්හි දී මහණෙනි, මේ අග මුල් නොපෙනෙන්නා වූ සසර දී තමන්ට මව් නුවූ හෝ පියා නුවූ හෝ සහෝදර නුවූ හෝ සහෝදරී නුවූ හෝ දූ දරු නුවූ හෝ සත්වයකු සොයා ගැනීම දුර්ලභ ය යි දේශනා කරන ලද්දේ නො වේ ද? එසේ බලන විට මේ මගේ හතුරා සසරදී නොයෙක් විට මට මව් වෙන්නටත් ඇත. ඒ මව් වූ කාලවලදී දසමසක් මුළුල්ලේහි මා කුසින් දරාගෙන දුක් විඳ ඉන් පසු මාගේ මල මුත්‍ර සම් සොටු ආදියකට කිසිසේත් කැතක් නොසිතා මා කෙරෙහි මහත් වූ මෛත්‍රියකින් මේ සියලු කැත කුණු සුවඳ සඳුන් කල්ක සේ සිතා අත පත ගාමින් මට පැමිණි ලෙඩ දුක් වලදි හඬමින් වැලපෙමින් නිදිවරමින් හිරිහැර වෙමින් මා නිසා නොයෙක් දුක් විඳිමින් මා හදා වඩා ගන්නට ඇත. පිය ව උපන් නොයෙක් කාලවල දී මට කවා පොවා මා වඩනා කැමැත්තෙන් වස්තුව සැපයීමට නොයෙක් දුක් ගන්නට ඇත. නොයෙක් අන්දමේ ගොවිතැන් කිරීම් ද, දුර කතර ගෙවා ‍ගොස් වෙළඳම් කිරීම් ද, මා නිසා දිවි යතත් එය ‍නොසලකා යුද්ධවලට පැමිණීම ද කරන්නට ඇත. සහෝදර සහෝදරියන් වූ කාලවලත් නොයෙක් නොයෙක් උපකාර කරන්නට ඇත. ඉදින් මේ ජාතියෙහි යම්කිසි ප්‍රමාදයකින් මා සමග නොසතුටු ව පෙර නොයෙක් ජාතිවලදී මෙසේ මට උපකාරීව සිටින්නට ම ඇත. ඒ නිසා ඔහුට ක්‍රෝධ කිරීම කි‍සිසේත් යුතු නැතැයි සිතා ක්‍රෝධය සංසිඳවා ගත යුතු යි.

මෛත්‍රියෙහි අනුසස් සිතීම

ඉදින් මෙසේත් නො සංසිදේ නම් ඊළඟට මෛත්‍රි කිරීමෙහි අනුසස් කල්පනා කට යුතු ය. ඒ මෙසේ ය:
එම්බල ක්‍රෝධ කරන තැනැත්ත, අපර්ණාවට පැමිණියා වූ මෛත්‍රී ධ්‍යානයාගේ අනුසස් එකොළසක් බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලදී. එනම් 1. සැපසේ නිදා ගත හැකි බව ද, 2. සැපසේ නින්දෙන් නැගිටිය හැකි බව ද, 3. පවිටු සිහින නොපෙනෙන බව ද, 4. මිනිසුන්ට ප්‍රිය මනාප වන බව ද, 5. අමුනුෂ්‍යයන්ටත් ප්‍රිය මනාප බව ද, 6. දෙවිවරුන් විසින් ආදරයෙන් රක්‍ෂා කරන බව ද, 7. ගිනි ය, විෂ ය, ආයුධ ය යන මේවායින් උපද්‍රවයක් නොපැමිණෙන බව ද, 8. වහා සිත එකඟ වන බව ද, 9. මුහුණේ පැහැය ඉතා ප්‍රසන්න වන බව ද, 10. සිහි මුළාවකට නො පැමිණ මැරෙන්නට ලැබෙන බව ද, 11. මේ ආත්මයේදී රහත් වීමට නොහැකි වී නම් නොවරදවා ම බ්‍රහ්ම ලෝකයෙහි උපදනා බව ද යනුයි. මෙසේ අපර්ණා සමාධියට පැමිණ වූ මෛත්‍රියහි පමණක් නොව එයට නොපැමිණි මෛත්‍රියෙහි ද අනුසස් රැසක් දේශනා කර තිබේ.
ඉන් සමහරක් නම්:
තමාගේ ගෙදරින් පිටත ගිය විට නොයෙක් තැන්වල දී බොහෝ ආහාර පානාදිය ලැබීම, ඔහු නිසා (ඒ මෛත්‍රී කරන තැනැත්තා ආශ්‍රය කරගෙන) බොහෝ දෙනා ජීවත් වන බව, ගිය ගිය ගම් රටවලදී පූජා සත්කාර ලැබීම, ඔහු කරා සොරුන් ළං නොවීම, රජුගෙනුත් අවමන් නොලැබීම, කිසි සතුරෙකු නැති වීම, සභාවකට පැමිණි විට ඔවුනොවුන් විසින් සතුටු කරනු ලැබීම, සියලු නෑයන් අතුරෙන් උතුමකු වීම, ගුණ කීර්ති උසුලන්නකු වීම, ඓශ්වර්යයෙන් බබළන්නකු වීම, සැපතින් පහ නොවීම, ගවයන් බෝවීම, කුඹුරු සරු වීම, දරුවන්ගෙන් සැප විඳින්නට ලැබීම, පිහිට නැති තැන්වල දී පවා පිහිට ලැබීම, සතුරන්ට මැඩ පැවැත්විය නොහැකි කෙනෙකු වීම ආදියයි.
මෙපමණකුත් නොව මෛත්‍රී කරන්නා වූ භික්‍ෂූන් වහන්සේලාට යම් කෙනෙකු සිවුරු ආදී ප්‍රත්‍යය හතරෙන් උපකාර කළේ නම් ඒ දායකයාගේ කුශලානිසංශය ප්‍රමාණ කළ නොහැකි තරම් මහත් වන බව ද,
යම් සේ ලෝකයෙහි ඇත්තා වූ තාරකාවල එළිය සඳ එළියෙන් දහසයෙන් කොටසක් පමණවත් වටින්නේ නො වේ ද? එසේ ම සසර සැපත ගෙන දෙන්නා වූ අනෙක් දන්දීම ආදී පින්කම් මෛත්‍රී භාවනා නම් වූ පින්කමෙන් දහසයෙන් කොටසක් පමණක් නොවටිනා බව ද යනාදී නොයෙක් අනුසස් දේශනා කර තිබේ.
තව ද උන්වහන්සේ භික්‍ෂූන්ට කථා කොට “මහණෙනි, යම් භික්‍ෂු කෙනෙකු අසුරු සැණක් (අහුර ගසන්නට යන කාලය තරම් වූ තත්පරයක් පමණ වූ සුළු කාලයක්) පමණවත් මෛත්‍රී සිත ආශ්‍රය කෙරේ නම් ඒ මහණ තෙමේ (අපර්ණා උපචාරධ්‍යාන නැත්තකු වුවත්) ධ්‍යානයෙන් පහ නොවූවකුව ම වාසය කෙරේ යයි බුද්ධාදී උතුමන් විසින් කියනු ලැබේ යයි ද, එපමණකින් ම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව ලෙස පිළිපදින්නෙක් වේ යයි ද නොසිස් වූ කෙනෙකු ව සිට ගෙන රටුන් විසින් දෙනු ලබන්නා වූ සිවුපසය ප්‍රයෝජන ගන්නෙක් වේ හෙවත් ඒ සුළු කාලයෙහි මෛත්‍රී කළ පමණින් රටුන් විසින් පුදනු ලබන්නා වූ සිවුපසය ප්‍රයෝජන ගැනීමට සුදුස්සෙක් වේ යයි වඳාළ සේක.
තව ද බුදුරජාණන් වහන්සේ මාරයන් පරාජය කළේත්, ධනපාල ඇතා ආදී රෞද්‍ර යකුන් හික්මෙව්වේත් මෛත්‍රියෙන් ම ය. වෙනත් සාමාවති, මඝමාණවක ආදී නොයෙක් දෙනාත් නොයෙක් උපද්‍රවවලින් මිදුණේ මෛත්‍රියෙන් ම බව පෙනේ.
තව ද මෛත්‍රී කරන තාපසයන් වාසය කරන්නා වූ කැලයේ රෞද්‍ර වූ මෘගයෝ පවා ඒ මෛත්‍රියට අනුව ක්‍රියා කෙරෙති. ඉදින් මෙසේ බොහෝ අනුසස් ඇත්තා වූ මෛත්‍රිය නො වඩා නුඹේ සතුරාට නුඹ එරෙහි නම් මේ අනුසස් එකක්වත් නුඹට ලැබෙන්නේ නැත. එබැවින් නුඹේ ක්‍රෝධය හැර දමා පන්න. මෛත්‍රිය වඩා මේ අනුසස් ලබාගන්න. කියා නිතර නිතර කල්පනා කොට ක්‍රෝධය සංසිඳවා ගත යුතුයි.

ධාතු වශයෙන් සිතීම

ඉදින් මෙසේත් නො සංසිදේ නම් ඊළඟට ධාතු විනිර්භෝගය හෙවත් ධාතු වශයෙන් වෙන් කොට සිතීමකට යා යුතු වේ. ඒ මෙසේ ය:
එම්බල ක්‍රෝධ කරන තැනැත්ත, කිමෙක් ද? නුඹේ සතුරාට කිපෙන්නා වූ නුඹ ඔහු ගේ හිසකෙස්වලට කිපෙන්නෙහි ද? ඔහුගේ ලොම්වලට ද? නියපොතුවලට ද? දත්වලට ද? සමට ද? මස්වලට ද? නහරවලට ද? ඇටවලට ද? මේ ශරීරයෙහි ඇත්තා වූ තිස්දෙකක් පමණ කුණු කොටස් අතුරින් වෙනත් මොන මොන කුණු කොටසකට කිපෙන්නෙහි ද? ආපෝධාතුවට, තේජෝධාතුවට, වායෝධාතුවට කිපෙන්නෙහි ද? එසේ නැත්නම් රූපස්කන්ධයට, වේදනාස්කන්ධයට, සංඥාස්කන්ධයට, සංස්කාරස්කන්ධයට, විඥානස්කන්ධයට කිපෙන්නෙහි ද? ඒත් නැත්නම් මනායතනයට කිපෙන්නෙහි ද? ධර්මායතනයට කිපෙන්නෙහි ද? චක්ඛායතනයට කිපෙන්නෙහි ද? රූපායතනයට කිපෙන්නෙහි ද? චක්‍ෂුධාතුවට කිපෙන්නෙහි ද? රූප ධාතුවට කිපෙන්නෙහි ද? . . . . . මනෝ ධාතුවට කිපෙන්නෙහි ද? ධර්ම ධාතුවට කිපෙන්නෙහි ද? යන ආදී වශයෙන් මෙසේ ධාතුන් වෙන් වෙන් කොට සිතාගෙන යන කල ක්‍රෝධයට පවත්නට ඉඩක් නොලැබේ. ඉදි කටු අග අබ ඇටයක් නොනවත්නා සේ ඔහුගේ ක්‍රෝධය පෙරළී අහක් ව යන්නේ ය.

දාන සංවිභාගය

ඉදින් මෙසේ ධාතු වශයෙන් වෙන් කොට සිතා ගන්නට අසමර්ථ වූ කෙනෙකු විසින් නම් දානසංවිභාගය ‍හෙවත් තමාගේ යම්කිසි දෙයක් සතුරාට දීම ද සතුරාගෙන් යම්කිසිවක් තමා ලබාගැනිම ද කටයුතු වේ. එසේ කිරීමෙන් දෙදෙනාගේම ක්‍රෝධය සංසි‍‍ඳේ ම ය. දීමෙන් නොකට හැකි දෙයක් නම් නැත. කොපමණ තරහ වී සිටින කෙනෙකු නමුත් යමක් දීමෙන් සතුටු කළ හැකි වේ. එබැවින් දානය නම් නොහික්මුණු අය හික්මවන්නා වූ මාර්ගයකැ යි ද තමන්ගේ හා අනුන්ගේ සියලු අභිවෘද්ධිය සිදු කර දෙන්නා වූ ගුණ ධර්මයකැ යි ද බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ ය.
මෙසේ මේ දැක් වූ දස ආකාරයන් අතුරෙන් යම්කිසි ආකාරයකින් සතුරා කෙරෙහි පැවති ක්‍රෝධය සංසිඳුණාට පසු ප්‍රිය තැනැත්තේ ය, ඉතා ප්‍රිය යහළුවා ය, මධ්‍යස්ථ තැනැත්තා ය යන මොවුන් කෙරෙහි මෙන් ම සතුරා කෙරෙහි ද මෛත්‍රිය උපදී. ඉදින් නැවත නැවත මෛත්‍රිය වඩන්නා වූ ඔහු විසින් තමා ය - ප්‍රියයා ය - මධ්‍යස්ථයා ය - සතුරා ය යන සතර දෙනා කෙරෙහි ම එකසේ මෛත්‍රිය වැඩිය යුතු ය. එසේ මේ සතර දෙනාගේ වෙනසක් නොසිතා සමසේ මෛත්‍රිය වැඩූවිට “සීමාසම්භේදය” කළාවේ. “සීමාසම්භේදය” නම් තමා ය -ප්‍රියයා ය යන සීමාවන් බිඳ දමා සියල්ලන් එකසේ සීතීම ය. එහි කොපමණ දුරට සමසේ සිතිය යුතු ද කීවොත්, ඉදින් “තමා ය - ප්‍රියයා ය - මධ්‍යස්ථයා ය - සතුරා ය යන සතර දෙනා එක තැනක ඉන්නා විට මිනී මරන හොරුන් ඇවිත් තමුන්නාන්සේලා සතර දෙනාගෙන් එක්කෙනෙකු මරා ලේ ගෙන යාගයක් කිරීමට අපට දෙවයි ඉල්ලුවොත් එවිට “මගේ සතුරා ගෙන ගියොත් හොඳ ය, නැත්නම් ඒ තුන්දෙනා ම ඉන්දදී මා අල්වාගෙන ගියොත් හොඳ ය” යනාදීන් සිතුවොත් සීමාසම්භේදය කළා නො වේ. එසේ සීමාසම්භේදය කළ කල්හි හෙවත් කවුරුන් කෙරෙහිත් සමසේ මෛත්‍රිය වැඩූ කල්හි මේ මෛත්‍රිය උපචාරධ්‍යානයට පැමි‍ණේ. ඉදින් ක්‍රමයෙන් මෙසේ මෛත්‍රී වැඩීමෙන් කාමාවචර සිත් ඉක්මවා රූපාවචරාදී ප්‍රථම ධ්‍යානාදී ධ්‍යානයට පැමිණේ. මෙසේ පැමිණි මෛත්‍රිය අපර්ණාවට පැමිණි මෛත්‍රිය නම් වේ. ඒ අපර්ණාවට පැමිණි මෛත්‍රිය ප්‍ර‍භේද වශයෙන් පන්සිය විසි අට වැදෑරුම් වේ. ඒ විස්තරය කිරීමට මෙය කාලය නොවන බැවින් නො කියමි.
ඉදින් මෙසේ මෛත්‍රිය වඩන තැනැත්තා විසින් පිළිවළින් ඒ මෛත්‍රිය මුළු ලෝකයා කෙරෙහි ම පැතිරවිය යුතු ය.
පළමු කොට එක ආවාසයක් හෝ ගෙදරක් සිතින් නියම කරගෙන “මේ ආවාසයෙහි හෝ මේ ගෙදර වැසි සියළු සත්වයෝ සුවපත් වේවා” යානාදීන් මෛත්‍රිය වඩා ඒ ගෙයි වැසියන් කෙරෙහි සිත මෘදුව අපර්ණාධ්‍යානයට සුදුසු වූ පසු එසේ ම ගෙවල් දෙකක සත්වයන් කෙරෙහි ද ඊළඟට පිළිවෙළින් තුනක, හතරක, පහක, හයක, හතක, අටක, නමයක, දහයක සත්වයන් කෙරෙහි ද ඊළඟට එක වීථියක ගමකින් කොටසක, මුළු ගමක, මුළු රටක, මුළු රාජ්‍යයක, මුළු සක්වළින් එක් දිසාවක සත්වයන් කෙරෙහි දැයි යන පිළිවෙළින් මුළු ලෝකය දක්වා ක්‍රමයෙන් මෛත්‍රිය වැඩිය යුතු වේ.

මෙත් සිතට සතුරෝ

තව ද මේ මෛත්‍රිය වඩන්නා වූ තැනැත්තහු විසින් මෛත්‍රියගේ සතුරෝ කවුරු දැයි දැනගත යුත්තාහ. මේ මෛත්‍රියට වූ කලී ළඟ සිටින සතුරා ය, දුර සිටින සතුරා යයි සතුරෝ දෙදෙනෙක් වෙති. එයින් ළඟ සිටිනා සතුරා නම් රාගය වේ. දුර සිටිනා සතුරා නම් ව්‍යාපාදය හෙවත් ක්‍රෝධය වේ. යම්සේ නිතර ළඟ හැසිරෙන්නා වූ මිතු‍රකුට සමාන මුහුණුවර ඇති සතුරාගෙන් විපතක් පැමිණවීම ඉතා ලෙහෙසි වේ ද? එසේ ම සත්වයන් කෙරෙහි ප්‍රේම කරන ස්වභාවය ඇති මෛත්‍රියට ගේහසිතපේම නම් වූ සමාන හතුරකු වැනි වූ රාගයෙන් විපතක් පැමිණීම ඉතා පහසු වේ. එබැවින් මෛත්‍රී කරන්නහු විසින් නිතර ම තමාගේ සිත රාගයෙන් පරෙස්සම් කර ගැනීමට උත්සාහ දැරිය යුතු ය. යම්සේ කඳු කැලෑ ආදියෙහි සැඟවී සිදුරක් සොයමින් දුර සිටිනා සතුරාගෙන් විපතක් පැමිණීම අමාරු වේ ද? කලාතුරකින් ම වේ ද? එසේ ම මේ පරිද්දෙන් මෛත්‍රිය කරන්නාහුට ව්‍යාපාදයෙන් හෙවත් ක්‍රෝධයෙන් විපතක් පැමිණීම අමාරුවෙන් කලාතුරකින් ම වේ. එබැවින් මේ ව්‍යාපාදය නැමති සතුරාට භය නොවී නිතර නිතර ම රාග නමැති සතුරාගෙන් පරිස්සම් වන්නට සිතට ගත යුතු ය. (මෙහි රාගයත් මෛත්‍රියත් දෙක එක අතකින් මදක් සමාන ගති ඇති බැවින් රාගය මිතුරෙකුට සමාන මුහුණුවර ඇති සතුරෙක් යැයි ද ‍‍මෛත්‍රිය කරන කල ඒ මෛත්‍රිය ලබන්නා වූ තැනැත්තාගේ ගුණ සිහි කරමින් ඔහු කෙරෙහි ප්‍රේමය ඇතිකරමින් ම එය වඩන බැවින් එකල්හි‍ නොයෙක් විට රාගයක් ඇති විය හැති බැවින් ළඟ හැසිරෙන හතුරෙකැයි ද කියන ලදී.)
මෙසේ ද්වේෂයෙහි දොස් ද ඉවසීමේ ගුණ ද පළමු කොට මෛත්‍රිය වැඩිය යුතු තැනැත්තා ද සතුරා කෙරෙහි පැවති ක්‍රෝධය සංසිඳුවා ගන්නා දස ආකාරය ද, ඊළඟට සීමාසම්භේදය කරන පරිදි ද ඒ මෛත්‍රිය ක්‍රමයෙන් මුළු ලෝකයෙහි පතුරුවන අන්දම ද එය සතුරන්ගෙන් රැක ගත යුතු අන්දම ද දැන මෛත්‍රිය වඩන ක්‍රමය ඉ‍ගෙන ගත යුතු වේ. මේදෙවන ප්‍රශ්නයට පිළිතුරු යි.

මෛත්‍රියේ ප‍්‍රභේද

ඉදින් “වෙනත් මේ මෛත්‍රියගේ ප්‍රභේද මොනවා ද?” යන ප්‍රශ්නයට පිළිතුරු ඉතා කෙටියෙන් කියනු ලැබේ.
මේ මෛත්‍රිය වූ කලී සතර බ්‍රහ්ම විහාරයන් අතුරෙන් පළමු වන බ්‍රහ්ම විහාරය වේ. මෙහි “බ්‍රහ්ම” යනු උතුම් වූ හෝ නිර්දෝෂ වූ යන තේරුම් ද පවතී. එබැවින් උතුම් වූ හෝ නිර්දෝෂ ඉරියව් පැවැත්වීම ය යනු මෙහි තේරුම වේ.
සත්වයන් කෙරෙහි අභිවෘද්ධියක් කරන ආකාරයෙන් ම පැවැත්ම මේ මෛත්‍රියගේ ස්වභාවය හෝ ඇඳින ගන්නා ලකුණ වේ. අනුන්ට අභිවෘද්ධියක් පැමිණවීම මේ මෛත්‍රිය කරන්නා වූ වැඩය වේ. ක්‍රෝධය ඇති වීමට හේතු වන්නා වූ අදහස් නැති කිරීම මෙහි ඵලය හෙවත් ප්‍රයෝජනය වේ. (මේ ක්‍රෝධය ඇති වීමට හේතුවන්නා වූ අදහස් නවයකි) එනම් 1. මොහු මට අනර්ථයක් කළේ ය. 2. දැනුදු කෙරෙයි. 3. මත්තට ද කරන්නේ ය. 4. මොහු මගේ ප්‍රියයාට අනර්ථයක් කළේ ය. 5. දැනුදු කෙරෙයි. 6. මත්තට ද කරන්නේ ය. 7. මොහු මගේ අප්‍රියාට (සතුරාට) අභිවෘද්ධියක් කළේ ය. 8. දැනුදු කෙරෙයි. 9. මත්තට ද කරන්නේ යයි ඇතිවෙන්නා වූ නපුරු අදහස් ය. මේ මෛත්‍රිය ඇතිවීමට ඉතා කිට්ටුව තිබෙන හේතුව නම් සත්වයන්ගේ මනාප බව දැකීම යි. මේ මෛත්‍රියගේ යහපත් වූ සිද්ධිය නම් ව්‍යාපාදය යටපත් කර දැමීම් වශයෙන් සංසිඳීම වේ. මේ මෛත්‍රියගේ විපත්තිය හෙවත් විනාශයට හේතුව නම් තෘෂ්ණාව හා එකට යෙදුණා වූ ස්නේහය වේ.
මේ මෛත්‍රියගේ මුල (පටන් ගැන්ම) නම් සත්වයන් කෙරෙහි යහපතක් කැමති බව වූ ඡන්දිද්ධිපාදය වේ. ව්‍යාපාදයත් ඒ සමඟ යෙදුණු වෙනත් අකුශල ස්වභාවයනුත් යටපත් කිරීම් වශයෙන් සංසිඳවීම මධ්‍යය (මැද්ද) වේ. මෛත්‍රී ධ්‍යාන හෙවත් අපර්ණාවට පැමිණීම මෛත්‍රිය කෙළවර වේ.
මේ මෛත්‍රී භාවනාව ව්‍යාපාදය බොහෝ කොට ඇත්තා වූ ද්වේෂ චරිත ඇති තැනැත්තාගේ නිවන් දැකීමට මාර්ගය වේ.
තව ද මෛත්‍රී භාවනාව පළමුවන අප්පමඤ්ඤ යයි ද හෙවත් අප්‍රමාණ වූ සත්වයන් කෙරෙහි පැවැත්විය යුතු සතර භාවනාවන් අතුරෙන් පළමුවන එක යයි ද කියනු ලැබ්. ඒ එසේ මැ යි. මේ මෛත්‍රිය අප්‍රමාණ වූ සියළු සත්වයන් කෙරෙහි වැඩූ කල්හි ම මෛත්‍රී බ්‍රහ්ම විහාරයෙන් යුක්ත වූයේ වේ.
ඉදින් පින්වත්නි, නුඹලා මේ මෛත්‍රි ධර්ම ශාලාවෙහි බණ අසන්නාහු නම් මේ උතුම් වූ මෛත්‍රිය වඩන්නට සිතට ගත යුතු ය. එසේ නොව නුඹලා එකිනෙකා ක්‍රෝධ කරතොත් මේ ශාලාවේ නම “කපුරුහාමිගේ නම” වැනි වේ ය. කපුරුහාමි නම් තැනැත්තී නමින් කපුරු වුවත් ඇගේ කට බොහෝ ම ගඳලු. එසේ ම නුඹලාගේ ධර්ම ශාලාව නමින් පමණක් මෛත්‍රී කරන්නන්ගේ ධර්ම ශාලාව වී නම් නුඹලා මෛත්‍රී නොකරන්නහු නම් ඇත්තට ම මේ නම වෙනස් කරන්නට ඕනෑ. නුඹලා මේ අහන්නා වූ බණ හිතට නොගනිතොත් ඒ පරිද්දෙන් නොපිළිපදිතොත් නුඹලාගේ බණ ඇසීමත් හැන්දේ රසවිඳීමත් දෙක ම එක සමාන ය. හැන්ද නිතර නිතර රස කෑම ඇති භාජනවල ම කල් යවතත් මේ කෑම ලුණු රස ය, මේ කෑම පැණි රස ය ආදී විශේෂ විභාගයක් නො දනී. එසේ ම නුඹලාත් මේ යහපත් වූ බණ අස අසා ඒවායේ රස නොවිඳින්නාහු නම් ඇති ඵලය කුමක් ද? නුඹලා මේ ධර්මය වූ පරිද්දේන් නොපිළිපදින්නාහු නම් මේ බිත්ති වලට බණ කීම නුඹලාට බණ කීමට වඩා හොඳයි. මක් නිසා ද කීවොත්, මේ බිත්ති නිශ්චලව අසා සිටීමවත් කරන නිසා ය. මා මෙසේ කියන්නේ නුඹලා නරක නිසා නොවේ. යම් නරක ගතියක් ඇති වුණි නම් එය නැතිකර ගැනීමට කලින් අවවාද කිරීම් වශයෙන් ම ය.
අපි කවුරුත් තවම පෘථග්ජන ය. සෝවාන් ආදී මාර්ග ඵල වලට නොපැමිණියෝ ය. එබැවින් අපගේ සිත් පවට ඉතා ඇදීම පහසු ය. ඒ නිසා අප විසින් නිතර පරෙස්සම් විය යුතු ය. ඉදින් පින්වත්නි, නුඹලා ගෙදර ගොස් මෙතැන් පටන් මෛත්‍රිය කරන්නට පටන් ගත යුතු ය. වැඩකාරයන් අතින් හෝ වෙන යමෙකු අතින් ප්‍රමාද දෝෂයක් වූ විට ඒ ගැන නො කිපිය යුතු ය. කා අතිනුත් වැරදි විය හැකි බව කල්පනා කරන්න. මා කලින් කියා දුන් දස ආකාරයෙන් සිතා බලා නුඹලාගේ ක්‍රෝධය සංසිඳුවා ගත යුතු ය. ඉදින් මෙහි පැමිණ සිටින තරුණ මහත්වරුනි, විගහට නාකි වෙන්නට කැමති නැත්නම් තරහ වීම හොඳ නැත. තරහ වුණොත් විගහට නාකිවෙන බව නිතර හිතේ තබාගෙන ක්‍රියා කටයුතු ය. මෙසේ ම මෛත්‍රී කිරීමෙන් ඉබේ ම සිල් රැකේ. සිල් රැකීමෙන් භාවනා කළ හැකි වේ. භාවනා කිරීමෙන් සියලු කෙලෙසුන් නසා උතුම් නිර්වාණ සම්පත් ලබා ගත හැකි වේ.

කයිනුත් සුවැත්තෝ
කිසිත් උවදුරු නැත්තෝ
වෙත් වා සියලු සත්හු ම
සුවපත් වූ සිතැත්තෝ

No comments:

Post a Comment